Saturday, January 6, 2018

කිතුල් පැණියෙහි නොදත් කතාව

          ඔබ වෙළඳපොලෙන් මිලදී ගන්නා කිතුල් පැණි වෙළඳපොළට පැමිණෙන්නේ මාස ගණනාවක ක්‍රියාවලියක ප්‍රථිපලයක් වශයෙනි.කිතුල් පැණි කොතරම් රසවත් වුවත් එහි නිෂ්පාදන ක්‍රියාවලියේ එතරම් රසවත් බවක් දැකගත නොහැකිය.

          ලංකාවේ බොහෝ දුෂ්කර ගම්මාන වල කිතුල් පැණි නිෂ්පාදනය කරනු ලබයි. කිතුල් ගසක් පැළ වී ඉන් ප්‍රථමවරට මලක් හට ගැනීමට වසර දහයක පමණ කාලයක් ගත වේ. ඉන්පසුව මාස තුනකට වරක් පමණ මල් හට ගනියි.

          කිතුල් මලක් නිසි ලෙස සකස් කිරීම සඳහා සති කිහිපයක් ගත වේ. ප්‍රථමයෙන් කිතුල් ගසට රිටි තබා ශක්තිමත් ලෙස වෙලා ගත යුතුය. ගසට රිටි තබා තැනින් තැන ලී පතුරු තබා රැහැන් වලින් වෙලා ගනියි. මෙලෙස කිතුල් මල ඇති ස්ථානය දක්වා මෙලෙස ගස වෙලා ගනියි. කිතුල් මල ආසන්නයේ බඳ පටියක් සකස් කරනු ලබන්නේ කිතුල් මල් කපන පුද්ගලයාගේ ආරක්ෂාව වෙනුවෙනි.

          මෙලෙස ගස සකස් කිරීමෙන් අනතුරුව කිතුල් මල සකස් කිරීම ආරම්භ කරනු ලබයි. මලෙහි හනස්ස ගැලවී යාමට සතියකට පමණ පෙර මල සකස් කළ යුතුය. හනස්සෙහි අග සිට මැද දක්වා ඉරා මලෙහි ඉති ටික වෙන්වන සේ හොදින් සොලවා තැබිය යුතුය. මලෙහි ඉත්ත නැමූ විට කැඩී යන ප්‍රමාණයට මේරූ පසු මල සකසයි. ඉන් අනතුරුව මලෙහි මුල සිට අග දක්වා සිහින් පතුරකින් වෙලයි.

          මල වෙලීමෙන් අනතුරුව මලට බෙහෙත් තබයි. මලෙහි මුල කුඩා වලක් හාරා එහි බෙහෙත් පුරවයි. ලුණු, ගම්මිරිස්, අබ, ඉදුණු මිරිස්, හබරල දළු හා කැප්පෙටිය දළු සිහින් වන තෙක් මිරිස් ගලෙහි අඹරා මෙම බෙහෙත සකස් කරයි. එමගින් මල මෘදු වේ. බෙහෙත් තැබීමෙන් පසු පොල්කොළ භාවිතා කර මලෙහි මුල කොටස හොදින් රත් කරයි.

          මෙලෙස සකස් කර ගනු ලබන මලෙහි අග කොටස උදේ හා හවස කපා දමමින් මාස දෙකක කාලයක් පමණ තෙලිජ්ජ ලබා ගනියි. තෙලිජ්ජ ලිප තබා හොදින් රත්කර ගැනීමෙන් කිතුල් පැණි සකස් කරයි. පැණි තවත් රත් කොට හකුරු සාදයි. කිතුල් පැණි මාස දෙකක් පමණ බඳුනක දමා තැබූ විට එහි පතුලෙහි සූකිරි වැනි ද්‍රවයක් සෑදෙයි. ඒවා වැලි හකුරු ලෙස හඳුන්වයි.


තෙලිජ්ජ


වැලි හකුරු





          මෙලෙස සකස් කරන කිතුල් පැණි කිලෝවක් රුපියල් පන්සියයක් වැනි මුදලකට අළෙවි කරයි.





1 comment:

ගල් ඔරුව

                     ගල් ඔරුව දිය ඇල්ල ඉහළ සිට පහළට කඩා වැටෙන දිය ඇල්ලක් නොවෙයි. එය එකිනෙකට ඉතාමත් ලංව පිහිටා ඇති පර්වත දෙකක් අතරින් ඉතා වේ...