Sunday, January 7, 2018

සිංහරාජයෙන් ලැබෙන ආහාර 1

          රත්නපුර, ගාල්ල, මාතර යන දිස්ත්‍රික්ක තුන පුරා පැතිර ඇති සුන්දර සදාහරිත ජාතික උරුමයක් වන සිංහරාජ වනාන්තරය එදා මෙන්ම අදත් ඒ අවට වාසය කරන ජනතාවට මහත් වූ සේවයක් කරනු ලබයි. 70 දශකයේ අගභාගයේදී පමණ මෙහි ගස් කැපීම තහනම් කරනු ලැබුවද දැව නොවන වෙනත් ආර්ථිකමය ලාබ සිංහරාජයෙන් ලබා ගනියි. ඒ අතර ආහාර ද්‍රව්‍ය, ඖෂධ වර්ග මෙන්ම තවත් ද්‍රව්‍ය වේ.


සිංහරාජයෙන් ලබා ගන්නා හතු වර්ග


අතුරු හතු
 
          දුඹුරු පැහැයෙන්  හා සුදු පැහැයෙන් යුතු හතු වර්ගයකි. සුදු පැහැති හතු ඉතාමත් දුර්ලභය. විශාල ප්‍රදේශයක් පුරා එකවර හතු හටගනියි. එය ‘හතුපොළ’ ලෙස හඳුන්වයි. ඊසානදිග හා නිරිතදිග වැසි ආරම්භයත් සමඟ හතු පොළවෙන් මතු වේ. ව්‍යංජන ලෙස මෙන්ම බැඳුම් ලෙසද සකස් කර ආහාරයට ගනියි. මාංශමය රසයක් ඇත. වේලා කල්තබා ගෙන  වුවද ආහාරයට ගත හැකිය. ඇතැම් විටෙක මෙම හතු කිලෝවක් රුපියල් පන්සියයක් වැනි මුදලකට අළෙවි කරයි. නමුත් එහි රස හා දුර්ලභ බව නිසා කිසිවෙකු අළෙවි කිරීමට උනන්දු නොවෙයි.




ඉදලොලු

          සුදු පැහැති අඟල් හයක් පමණ උසට වැඩෙන හතු විශේෂයකි. වේ තුඹස් අසළ හට ගනියි. මාස් වර්ෂාවේ ආරම්භයත් සමඟ සවස් කාලයේදී පොළොවෙන් මතු වේ. උදෑසන හතට පමණ පෙර නෙලා ආහාරයට සකස් කර ගත යුතුය. ඉතාමත් කලාතුරකින් ආහාරයට ගැනීමට ලැබෙයි. 


වැලි හතු

          ප්‍රමාණය අනුව වැලි හතු වර්ග තුනකි. හීං වැලිහතු, ඕලු වැලිහතු හා වැලිහතු ලෙස. හීං වැලිහතු කුඩාම ප්‍රමාණයෙන් යුතුය. සුදු පැහැති හතු වර්ගයකි.


කිරි හතු

          මෝසම් වැසි සමයේදී දිරාපත් වූ කදන් මත සැදෙයි. මිනිස් කනක හැඩයෙන් යුතු කුඩා හතු වර්ගයකි. උඩ කොටස ලා දුඹුරු පැහැයෙන් ද යට කොටස සුදු පැහැයක්ද වේ. අඟල් 1 ½ පමණ ප්‍රමාණයකින් යුක්තය.


ඉබි හතු

          ඉබි කටුවක හැඩයට සමාන හැඩයක් ගනියි. හතු පිපිමට විශේෂ කාලයක් නොමැත. ලා කහ පැහැති ඉබි හතු දෙකක් හෝ තුනක් පොකුරක් ලෙස හටගනියි.


ඌරු හතු

          ප්‍රමාණයෙන් විශාල හතු වර්ගයකි. දුඹුරු පැහැයට සමාන වර්ණයක් ගනියි. ඇතැම් අවස්ථාවල කිලෝවකට වඩා විශාල ඌරු හතු හමු වේ. මාංශමය රසයකින් යුතු මෙම හතු ව්‍යංජන සේම බැඳුම් ලෙසද සකස් කර ආහාරයට ගනියි.


කඳ හතු

          විශේෂිත ශාක කඳන් වල පමණක් හට ගනියි. මලබඩ, ඇටඹ, කැන්ද හා බදුල්ල වැනි ශාක කදන්වල සෑදෙයි. දුඹුරු පැහැති කුඩා හතු වර්ගයකි.


1 comment:

ගල් ඔරුව

                     ගල් ඔරුව දිය ඇල්ල ඉහළ සිට පහළට කඩා වැටෙන දිය ඇල්ලක් නොවෙයි. එය එකිනෙකට ඉතාමත් ලංව පිහිටා ඇති පර්වත දෙකක් අතරින් ඉතා වේ...