Showing posts with label සිංහරාජයෙන් ලැබෙන ආහාර. Show all posts
Showing posts with label සිංහරාජයෙන් ලැබෙන ආහාර. Show all posts

Friday, January 12, 2018

සිංහරාජයෙන් ලැබෙන ආහාර 4


පලතුරු වර්ග



මොර

          දුඹුරු පැහැති පොත්තක් සහිත කුඩා පලතුරකි. වසර කිහිපයකට වරක් පමණක් ඵල හට ගනියි. ඉතාමත් රසය. මොර සූරන වැසි ලෙස හඳුන්වනු ලබන්නේ මොර ගසෙන් බිමට වටෙන් තරම් වේගයෙන් ඇද වැටෙනා වැස්සටය.



හිඹුටු

          දීප්තිමත් තැඹිලි පැහැයෙන් යුතු පලතුරකි. විශාල බීජ කිහිපයක් ඇත. වැල්වල ඵල ගනියි.වසරකට වරක් හට ගනියි.



කරඹ

          ඉතාමත් කුඩා ප්‍රමාණයේ අඹ වලට අයත් පලතුරකි. පැණි රසයෙන් යුක්තය.


ඇටඹ

          කරඹ වලට වඩා මදක් විශාල අඹ වර්ගයකි.


ගිරඹ

          ඇටඹ වලට වඩා විශාල අඹ වර්ගයකි.


සිංහරාජයෙන් ලැබෙන ආහාර 3

බෙරලිය

          බෙරලිය සෑදෙන්නේ වසර කිහිපයකට වරකි. එමඟින් විවධ ආහාර වර්ග සකස් කර ගනියි. ඒ අතර ව්‍යංජන, පිට්ටු, වැලිතලප හා හැලප වේ. බෙරලිය සකස් කරන විට පොත්තඉවත් කර  කහට ගතිය ඉවත්වන තුරු දින කිහිපයක් ජල බඳුනක තැබිය යුතුය. විටින් විට ජලය ඉවත්කර අලුතින් ජලය එක් කළ යුතු වේ.



තොලොල්

          වසරකට වරක් ඵල හට ගනියි. රවුම් කහ පැහැති ඵලයක් හට ගන්නා අතර එහි බීජ දෙකක් හෝ තුනක් ඇත. ගස් යටින් එකතු කර ගෙන ආහාරයට සකස් කර ගනියි. පොත්ත ඉවත්කර බීජ හොඳින් සෝදා වතුර දමා ලිප තබා හොදින් රත් කර ගත යුතුය. ගිරය භාවිතා කර බීජ දෙකට පළා මදය ඉවත් කර ගනියි. තිත්ත ඉවත් වන තෙක් රෙදි උරයක දමා බැසගෙන යන ජලයෙහි පැය කිහිපයක් තැබිය යුතුය. ලුණු කුඩු හා පොල් සමඟ ආහාරයට ගත හැකි අතර හිරු එළියෙන් වේලා පැණි එක් කර මෙන්ම කජු ව්‍යංජනය ලෙස ව්‍යංජන සකස් කර ද ආහාරයට ගත හැකිය.


හල්

          තරමක් විශාලය. ඉතාම ඝන පොත්තකින් ආවරණය වී ඇත. බොහෝ විට ජලමාර්ග ආසන්නයේ වැඩෙයි. පොත්ත ඉවත්කොට කුඩා කැබලිවලට කපාගෙන ඉන්පසු එහි තිත්ත ඉවත්වන තෙක් ජලයෙහි තැබිය යුතුය. මෙසේ සකස් කර ගනු ලබන හල් වලින් හැලප, පිට්ටු හා වැලිතලප සකස් කර ආහාරයට ගනියි.

සිංහරාජයෙන් ලැබෙන ආහාර 2

කුළුබඩු වර්ග 


එනසාල්

          දිය සීරා සහිත තෙත බිම් ප්‍රදේශ වල පඳුරු වශයෙන් ගණව වැඩෙන ශාක වර්ගයකි. අඩි හයකට වඩා උසට ශාක වැඩෙයි. මල් දිගු රෑනක් ලෙස හට ගෙන පසුව එයින් ඵලදාව හටගනියි. කරදමුංගු හැඩයට සමාන වුවද එයට වඩා විශාල වේ. කරල් රෑනක් ලෙස ඵල ගනියි.




ගොරක

          රත් ගොරක හා එල ගොරක (කහ පැහැති) යන ගොරක දෙවර්ගයම සිංහරාජයේ ඇත. අවට ජනතාව ගොරක සෑදෙන කාලයේදී ගොරක තමාගේ පරිභෝජනයට මෙන්ම අළෙවි කිරීම උදෙසාද නෙලා ගනු ලබයි.



වල් කුරුඳු

          ගෘහාශ්‍රිතව වගා කරනු ලබන කුරුඳු වලට වඩා ඉතා විශාල ශාකයකි.



වල් ගම්මිරිස්

          ගම්මිරිස් වගා කිරීමට ප්‍රථම බොහෝ දෙනෙකු භාවිතා කරනු ලැබුවේ වල් ගම්මිරිස්ය. මෙහෙ පැහැය සාමාන්‍ය ගම්මිරිස් වලට වඩා මදක් වෙනස්ය. රසය ද මදක් වෙනස් වන අතර තිත්ත රසයක් ඇත.





Sunday, January 7, 2018

සිංහරාජයෙන් ලැබෙන ආහාර 1

          රත්නපුර, ගාල්ල, මාතර යන දිස්ත්‍රික්ක තුන පුරා පැතිර ඇති සුන්දර සදාහරිත ජාතික උරුමයක් වන සිංහරාජ වනාන්තරය එදා මෙන්ම අදත් ඒ අවට වාසය කරන ජනතාවට මහත් වූ සේවයක් කරනු ලබයි. 70 දශකයේ අගභාගයේදී පමණ මෙහි ගස් කැපීම තහනම් කරනු ලැබුවද දැව නොවන වෙනත් ආර්ථිකමය ලාබ සිංහරාජයෙන් ලබා ගනියි. ඒ අතර ආහාර ද්‍රව්‍ය, ඖෂධ වර්ග මෙන්ම තවත් ද්‍රව්‍ය වේ.


සිංහරාජයෙන් ලබා ගන්නා හතු වර්ග


අතුරු හතු
 
          දුඹුරු පැහැයෙන්  හා සුදු පැහැයෙන් යුතු හතු වර්ගයකි. සුදු පැහැති හතු ඉතාමත් දුර්ලභය. විශාල ප්‍රදේශයක් පුරා එකවර හතු හටගනියි. එය ‘හතුපොළ’ ලෙස හඳුන්වයි. ඊසානදිග හා නිරිතදිග වැසි ආරම්භයත් සමඟ හතු පොළවෙන් මතු වේ. ව්‍යංජන ලෙස මෙන්ම බැඳුම් ලෙසද සකස් කර ආහාරයට ගනියි. මාංශමය රසයක් ඇත. වේලා කල්තබා ගෙන  වුවද ආහාරයට ගත හැකිය. ඇතැම් විටෙක මෙම හතු කිලෝවක් රුපියල් පන්සියයක් වැනි මුදලකට අළෙවි කරයි. නමුත් එහි රස හා දුර්ලභ බව නිසා කිසිවෙකු අළෙවි කිරීමට උනන්දු නොවෙයි.




ඉදලොලු

          සුදු පැහැති අඟල් හයක් පමණ උසට වැඩෙන හතු විශේෂයකි. වේ තුඹස් අසළ හට ගනියි. මාස් වර්ෂාවේ ආරම්භයත් සමඟ සවස් කාලයේදී පොළොවෙන් මතු වේ. උදෑසන හතට පමණ පෙර නෙලා ආහාරයට සකස් කර ගත යුතුය. ඉතාමත් කලාතුරකින් ආහාරයට ගැනීමට ලැබෙයි. 


වැලි හතු

          ප්‍රමාණය අනුව වැලි හතු වර්ග තුනකි. හීං වැලිහතු, ඕලු වැලිහතු හා වැලිහතු ලෙස. හීං වැලිහතු කුඩාම ප්‍රමාණයෙන් යුතුය. සුදු පැහැති හතු වර්ගයකි.


කිරි හතු

          මෝසම් වැසි සමයේදී දිරාපත් වූ කදන් මත සැදෙයි. මිනිස් කනක හැඩයෙන් යුතු කුඩා හතු වර්ගයකි. උඩ කොටස ලා දුඹුරු පැහැයෙන් ද යට කොටස සුදු පැහැයක්ද වේ. අඟල් 1 ½ පමණ ප්‍රමාණයකින් යුක්තය.


ඉබි හතු

          ඉබි කටුවක හැඩයට සමාන හැඩයක් ගනියි. හතු පිපිමට විශේෂ කාලයක් නොමැත. ලා කහ පැහැති ඉබි හතු දෙකක් හෝ තුනක් පොකුරක් ලෙස හටගනියි.


ඌරු හතු

          ප්‍රමාණයෙන් විශාල හතු වර්ගයකි. දුඹුරු පැහැයට සමාන වර්ණයක් ගනියි. ඇතැම් අවස්ථාවල කිලෝවකට වඩා විශාල ඌරු හතු හමු වේ. මාංශමය රසයකින් යුතු මෙම හතු ව්‍යංජන සේම බැඳුම් ලෙසද සකස් කර ආහාරයට ගනියි.


කඳ හතු

          විශේෂිත ශාක කඳන් වල පමණක් හට ගනියි. මලබඩ, ඇටඹ, කැන්ද හා බදුල්ල වැනි ශාක කදන්වල සෑදෙයි. දුඹුරු පැහැති කුඩා හතු වර්ගයකි.


Saturday, January 6, 2018

කිතුල් පැණියෙහි නොදත් කතාව

          ඔබ වෙළඳපොලෙන් මිලදී ගන්නා කිතුල් පැණි වෙළඳපොළට පැමිණෙන්නේ මාස ගණනාවක ක්‍රියාවලියක ප්‍රථිපලයක් වශයෙනි.කිතුල් පැණි කොතරම් රසවත් වුවත් එහි නිෂ්පාදන ක්‍රියාවලියේ එතරම් රසවත් බවක් දැකගත නොහැකිය.

          ලංකාවේ බොහෝ දුෂ්කර ගම්මාන වල කිතුල් පැණි නිෂ්පාදනය කරනු ලබයි. කිතුල් ගසක් පැළ වී ඉන් ප්‍රථමවරට මලක් හට ගැනීමට වසර දහයක පමණ කාලයක් ගත වේ. ඉන්පසුව මාස තුනකට වරක් පමණ මල් හට ගනියි.

          කිතුල් මලක් නිසි ලෙස සකස් කිරීම සඳහා සති කිහිපයක් ගත වේ. ප්‍රථමයෙන් කිතුල් ගසට රිටි තබා ශක්තිමත් ලෙස වෙලා ගත යුතුය. ගසට රිටි තබා තැනින් තැන ලී පතුරු තබා රැහැන් වලින් වෙලා ගනියි. මෙලෙස කිතුල් මල ඇති ස්ථානය දක්වා මෙලෙස ගස වෙලා ගනියි. කිතුල් මල ආසන්නයේ බඳ පටියක් සකස් කරනු ලබන්නේ කිතුල් මල් කපන පුද්ගලයාගේ ආරක්ෂාව වෙනුවෙනි.

          මෙලෙස ගස සකස් කිරීමෙන් අනතුරුව කිතුල් මල සකස් කිරීම ආරම්භ කරනු ලබයි. මලෙහි හනස්ස ගැලවී යාමට සතියකට පමණ පෙර මල සකස් කළ යුතුය. හනස්සෙහි අග සිට මැද දක්වා ඉරා මලෙහි ඉති ටික වෙන්වන සේ හොදින් සොලවා තැබිය යුතුය. මලෙහි ඉත්ත නැමූ විට කැඩී යන ප්‍රමාණයට මේරූ පසු මල සකසයි. ඉන් අනතුරුව මලෙහි මුල සිට අග දක්වා සිහින් පතුරකින් වෙලයි.

          මල වෙලීමෙන් අනතුරුව මලට බෙහෙත් තබයි. මලෙහි මුල කුඩා වලක් හාරා එහි බෙහෙත් පුරවයි. ලුණු, ගම්මිරිස්, අබ, ඉදුණු මිරිස්, හබරල දළු හා කැප්පෙටිය දළු සිහින් වන තෙක් මිරිස් ගලෙහි අඹරා මෙම බෙහෙත සකස් කරයි. එමගින් මල මෘදු වේ. බෙහෙත් තැබීමෙන් පසු පොල්කොළ භාවිතා කර මලෙහි මුල කොටස හොදින් රත් කරයි.

          මෙලෙස සකස් කර ගනු ලබන මලෙහි අග කොටස උදේ හා හවස කපා දමමින් මාස දෙකක කාලයක් පමණ තෙලිජ්ජ ලබා ගනියි. තෙලිජ්ජ ලිප තබා හොදින් රත්කර ගැනීමෙන් කිතුල් පැණි සකස් කරයි. පැණි තවත් රත් කොට හකුරු සාදයි. කිතුල් පැණි මාස දෙකක් පමණ බඳුනක දමා තැබූ විට එහි පතුලෙහි සූකිරි වැනි ද්‍රවයක් සෑදෙයි. ඒවා වැලි හකුරු ලෙස හඳුන්වයි.


තෙලිජ්ජ


වැලි හකුරු





          මෙලෙස සකස් කරන කිතුල් පැණි කිලෝවක් රුපියල් පන්සියයක් වැනි මුදලකට අළෙවි කරයි.





ගල් ඔරුව

                     ගල් ඔරුව දිය ඇල්ල ඉහළ සිට පහළට කඩා වැටෙන දිය ඇල්ලක් නොවෙයි. එය එකිනෙකට ඉතාමත් ලංව පිහිටා ඇති පර්වත දෙකක් අතරින් ඉතා වේ...