Thursday, February 8, 2018

ගල් ඔරුව


                     ගල් ඔරුව දිය ඇල්ල ඉහළ සිට පහළට කඩා වැටෙන දිය ඇල්ලක් නොවෙයි. එය එකිනෙකට ඉතාමත් ලංව පිහිටා ඇති පර්වත දෙකක් අතරින් ඉතා වේගයෙන් ගලා යන්නා වූ දිය දහරකි. ගල් ඔරුවක හැඩය නිසා එම ඇල්ලට ගල් ඔරුව යන නාමය ලැබී ඇත. විටෙක නැරබීමට බිය උපදවන සුළු දසුනක් වුවද එය සංචාරක ආකර්ෂණය නොඅඩුව ලැබෙනා ස්ථානයකි.


Monday, February 5, 2018

දුවිලි ඇල්ල


                 තට්ටු ඇල්ලට ඉහළින් පිහිටා ඇති මෙය ඉතාමත් ආකර්ෂණීය දියඇල්ලකි. දිය ඇල්ල වැටෙන ස්ථානයේ පිහිටා ඇති ජල තටාකය වර්ෂාව අඩු කාලයේදී  සංචාරකයන්ට නෑමට සුදුසු ස්ථානයකි. හාත්පස සිසිල් කරමින් විසිරෙනා දුහුවිලි බඳු ජල බිංදු නිසා මෙම ඇල්ලට දුවිලි ඇල්ල යන නාමය ලැබී ඇත.


Friday, February 2, 2018

තට්ටු ඇල්ල


                බ්‍රාහ්මණ ඇල්ලට ඉහළින් පිහිටා ඇති මෙම දිය ඇල්ල තට්ටු කිහිපයකට පිහිටා ඇති නිසා මෙය තට්ටු ඇල්ල ලෙස හඳුන්වයි. පායනා කාලයට මෙම දිය ඇල්ලේ සුන්දරත්වය මදක් හීන වුවද වැසි සමයට ඉතාමත් දර්ශනීය සුන්දරත්වයක් පෙන්වයි.



Wednesday, January 31, 2018

බ්‍රාහ්මණ ඇල්ල


          ලංකාගම ග්‍රාමයේ හැරියාව දොළ ආශ්‍රිතව දිය ඇලි පහක් දැකගත හැකිය. ඉන් ප්‍රථමයෙන් දැකගත හැකි වන්නේ බ්‍රාහ්මණ ඇල්ලයි. මෙම දිය ඇල්ලට නම ලැබුණු ආකාරය පිළිබඳව රසවත් කතාවක් ඇත.

          ගිංගඟෙහි නිධන්ගල්පොත්ත නම් ස්ථානයේ නිධානයක් ඇතිබව නිධන්වඳුලකින් දැන ගත් ඉන්දියාවේ බ්‍රාහ්මණයෙකු එම නිධානය ලබා ගැනීමේ අරමුණින් මෙරටට පැමිණ ඇත. එම නිධානය ලබා ගැනීම සඳහා තුන්කුළුඳුල් බිල්ලක් අවශ්‍ය වූ බැවින් එම ප්‍රදේශයේම සුදුසු තරුණියක් හා විවාහ වූ බ්‍රාහ්මණයාට එම විවාහයෙන් පිරිමි ළමයෙකු ලැබී ඇත. කුඩා අවධියේ සිටම දරුවාට පිහිනීමට ඉගැන්වූ බ්‍රාහ්මණය සුදුසු කාලය පැමිණි විට දරුවාද සමඟ නිධානය ගැනීමට උත්සහ කර ඇත. නිධන් ගල්පොත්තේ සිට බ්‍රාහ්මණයා විසින් පුදපුජා පවත්වන විට රන්පුහුල දියෙන් මතු වූ අතර පිහිනා ගොස් රන්පුහුල කඩාගෙන ආ දරුවාගේ හිස කපා දමා බිලි පුජාව අවසන් කර ඇත. පසුව රන් පුහුලද රැගෙන එවකට සිංහරාජය ආශ්‍රිතව තිබු මුකුණන නම් ග්‍රාමයට පැමිණි බ්‍රාහ්මණයා එහි නිවසක නවාතැන් ගෙන ඇත. මෙම බ්‍රාහ්මණයා ළඟ වටිනා යමක් ඇතැයි සැක කළ නිවැසියා බ්‍රාහ්මණයා මරා ඇල්ලෙන් පහළට දමා රන්පුහුල ගත් බව මෙම ජනප්‍රවාද වල කියවේ.

          මෙම අතිඅලංකාර දිය ඇල්ලට බ්‍රාහ්මණ ඇල්ල යන නම ලැබී ඇත්තේ මෙම ජනප්‍රවාදය පදනම් කොටගෙනය.

දියඇලි


            ගාල්ල නෙළුව ප්‍රදේශයෙන් සිංහරාජයට ඇතුළුවන මාර්ගයේ නෙළුව සිට 10km පමණ දුරක් වනාන්තරය දෙසට ගමන් කරනා විට ලංකාගම ග්‍රාමය හමුවේ. දෙණියාය හරහා පල්ලේගම මාර්ගයෙන්ද මෙම ගම්මානයට ප්‍රවේශ විය හැකිය. වර්තමානය වන විට එය දේශීය මෙන්ම විදේශිකයන්ගේද ආකර්ෂණය දිනාගත් ස්ථානයක් බවට පත් වී ඇත. මෙම ප්‍රදේශයේ දී වනාන්තරය මෙන්ම සතුන් හා සුන්දර දියඇලි නැරඹීමට මෙන්ම ගිං ගඟෙහි සුන්දරත්වය විඳින්නට ද වාර්ෂිකව විශාල සංචාරක ප්‍රමාණයක් මෙම ප්‍රදේශයට ඇඳී එයි. අද වනවිට මෙම ගම ඇසුරේ සංචාරක නවාතැන් කිහිපයක් ආරම්භ කර ඇති අතර වනසංරක්ෂණ දෙපාර්තුමේන්තුව මඟින් පිහිටුවා ඇති කඳවුරක්ද ඇත. එහෙයින් සංචාරකයන් හා පර්යේෂකයන්ට දින කිහිපයක් වුවද නවාතැන් ගැනීමේ හැකියාව ලැබීම මෙහි සංචාරක කටයුතු වර්ධනය වීමට හේතු වී ඇත.


සිංහරාජයේ සිටි අලියා


              දිනෙන් දින ලංකාවෙහි විවිධ ප්‍රදේශ වලින් අලි ඇතුන් මරා දැමීම පිලිබඳ  සිඳුවීම් අසන්නට ලැබෙයි. එසේම අලි ඇතුන් හා මිනිසුන් අතර ගැටුම් නිරතුරුව ඇති වේ. සිංහරාජයේ අලින් කිහිප දෙනෙකු වර්තමානයේ ද වාසය කරන අතර මිනිසුන් සමඟ ගැටීම්  පිළිබඳව තොරතුරු වාර්තා වේ.
80 දශකයේදී පමණ තනි අලියෙකු සිංහරාජයේ සැරිසරනු ලැබූ බව සිංහරාජය අවට ගම්මානවල බොහෝ දෙනෙකු පවසයි. තනි අලියෙකු වුවද කිසිම මිනිසෙකුට කරදයක් එම අලියාගෙන් සිදු නොවූ බව ඔවුන් පවසයි. වනාන්තරය තුළ මෙන්ම වනය ආශ්‍රිත මාර්ග වල මෙන්ම ගම්මාන වලද මෙම අලියා නිරතුරුව සැරිසරා ඇත. පසු කාලීනව එම අලියා මිනිසුන් විසින් දොඹගොඩ යනුවෙන් හදුන්වන ප්‍රදේශයේදී මරා දමා තිබු බවත් ඔවුන් පවසයි.

Tuesday, January 30, 2018

සුදු වඳුරා


          2010 වසරේදී පමණ නෙලුව ලංකාගම හා වතුගල ප්‍රදේශවල ජනතාවගෙන් ලැබුණු තොරතුරු අනුව වනජීවී සංරක්ෂණ සංගමය කරන ලද පර්යේෂණ මඟින් මෙම වඳුරා පිළිබඳ තොරතුරු අනාවරණය කරගනු ලැබුණු . සිංහරාජයෙන් හමුවන මෙම සුදු වඳුරා වෙනම වඳුරු විශේෂයක් නොවන අතර ඇලි බවට පත් වූ විශේෂයක් ද නොවෙයි .මොවුන් දකුණු කලු වඳුරාගේම සුදු ප්‍රභේදයක් වන බව පර්යේෂකයන් දක්වයි. මොවුන් විශේෂයෙන් දැක ගත හැකි වන්නේ සිංහරාජය ආශ්‍රිතවය.


ගල් ඔරුව

                     ගල් ඔරුව දිය ඇල්ල ඉහළ සිට පහළට කඩා වැටෙන දිය ඇල්ලක් නොවෙයි. එය එකිනෙකට ඉතාමත් ලංව පිහිටා ඇති පර්වත දෙකක් අතරින් ඉතා වේ...